Tuesday, January 17, 2017

උතුරේ බුදුපිළිම කඩන්නේ දකුණේ මැර පිරිසක්?


15 January 2017

උතුර සහ නැගෙනහිර පළාත්වල බුදු පිළිම විනාශ කිරීම සහ ඒ හා සම්බන්ධ ප්‍රචාරක ව්‍යාපෘති දියත් කිරීම කරනු ලබන්නේ දකුණේ සිටින අන්තවාදීන් පිරිසක් විසින් බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත. භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණු පැමිණිලි සහ අදාළ ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගෙන් ලත් පැමිණිලි අනුව බුදු පිළිම කඩා බිඳ දමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කරන ලද විමර්ශනයක දී මේ බව අනාවරණය කරගෙන ඇත.

උතුරු ප්‍රදේශයේ යුද හමුදා කඳවුරු ආශ්‍රිත භූමිවල තිබූ බුදු පිළිම කඳවුරු ඉවත් කර ගැනීමත් සමඟ ඉවත් කර නොතිබූ අතර එම ඉඩම් ජනතාවට ලබා දීමෙන් පසුව ඔවුන් වගාකටයුතු සඳහා භූමිය සකස් කිරීමේ දී හමුදාව විසින් ඉදිකර තිබූ ඉදිකිරීම් ඉවත් කර ඇත. නැගෙනහිර ප්‍රදේශයේ එවැනි ඉඩම් සහ මංසන්ධි ආශ්‍රිතව තිබූ ඇතැම් බුදු පිළිම සහ කුටි විනාශ කර ඇත්තේ වන අලි විසින් බව එම ස්ථානවල අලි බෙටි ගසා තිබීමෙන් පෙනී යන බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරියකු සත්හඬට පැවසීය.

රජය මඟින් සංහිඳියා සතියක් ප්‍රකාශයට පත් කර තිබිය දී (ජනවාරි 8 සිට 14 දක්වා) එම කාලය තුළ ත්‍රිකුණාමලය, උප්පුවේලි, වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප්‍රදේශවල බෝ ගස් සහ මංසන්ධි ආශ්‍රිතව තිබූ කුඩා බුදු පිළිම කිහිපයක් කඩා බිඳ දමා තිබූ අතර ඇතැම් ඒවාට කළු තෙල් ප්‍රහාර එල්ල කර තිබිණි. කළු තෙල් ප්‍රහාර පිළිබඳව පොලිස් කණ්ඩායම කරන ලද විමර්ශනයක දී හෙළි වී ඇත්තේ එම ප්‍රහාර එල්ල කර ඇත්තේ අදාළ සිදුවීම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා සැලසුම් සහගතව බවය. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවැති සමයේ දී පවා බුදු පිළිම ආරක්ෂා වී තිබිය දී හිටි හැටියේ ඒවා විනාශ කරන කණ්ඩායම් ක්‍රියාත්මක වීම කෙරෙහි පොලිස් බුද්ධි අංශවල විශේෂ අවධානය යොමු කර ඇත.

බුදු පිළිම විනාශ කර ඇතැයි ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අන්තවාදී කණ්ඩායම් ගෙන යන ප්‍රචාර සඳහා තායිලන්තය, නේපාලය යන රටවල ස්වාභාවික විපත්වලින් විනාශ වූ බුදු පිළිමවල ඡායාරූප පළ කර ඒවා ලංකාවේ නැගෙනහිර පළාතේ විනාශ කර ඇති බුදු පිළිම ලෙස හුවා දැක්වීම පිළිබඳව ද බුද්ධි අංශ අවධානය යොමු කර ඇත. සංහිඳියා සතිය තුළ මෙසේ බුදු පිළිම විනාශය පිළිබඳව ප්‍රචාරය කිරීම ජාතීන් අතර සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියා කරන අන්තවාදී කණ්ඩායම්වල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බව විනාශ කළ බුදු පිළිම වෙනුවට පසු දිනම එම ස්ථානවල නැවත පිළිම තැන්පත් කිරීමට පැමිණෙන පිරිස්වලින් පෙනී යන බව ද පොලිස් කණ්ඩායම් පවසති.

කෙසේ වුව ද රජය මඟින් සංහිඳියා සතියක් ප්‍රකාශයට පත් කර තිබිය දී එම සතිය තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ දැන ගැනීම සඳහා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් මහතා සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවක දී අප උත්සාහ කළත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

රජය විසින් ත්‍රස්තවාදී සැකකරුවන් මුදාහැර තිබිය දී තවමත් සුළු වැරැදි කළ උතුරු නැගෙනහිර තරුණ පිරිස් ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස රඳවාගෙන සිටීම සාධාරණ නොවන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත. තත්ත්වය එසේ වුව ද සංහිඳියා සතිය නිශ්ශබ්දව ගෙවා දැමීම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා සිය කනස්සල්ල පළ කර ඇත.

දයා නෙත්තසිංහ

http://sinhala.srilankamirror.com/news/1854-southern-extremists-behind-buddha-statue-destruction-in-north

No comments:

Post a Comment